අපගේ දැක්ම
"හරිත සංකල්ප සහ ඩිජිටල් නව්‍යකරණ තුළින් 2027 වසරේදී සේවාලාභී ප්‍රසාදය ලද හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වීම."
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ඩිජිටල් තාක්ෂණයෙන් කාර්යක්ෂමව සේවා සැපයීම, පාරිසරික ප්‍රතිපත්තිවලට අනුකූලව සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු සැලසුම්ගත තිරසර සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනජීවිතය නංවාලීම."
- අරමුණු -
- සමෘද්ධිමත් සාමකාමී සහජීවනයෙන් යුත් ජන කොට්ඨාශයක් බිහිකිරීම
- සුහදශීලී කාර්යක්ෂම සේවාවක් සැපයීම
- පවතින සම්පත් හඳුනාගෙන එයින් උපරිම ප්රායෝජන ලබාගැනීම
- සහභාගීත්ව පිවිසුම තුළින් ගැටළු විසදීම
- අගයයන් -
- හෘදය සංවේදී කාර්ය මණ්ඩලයක්
- ප්‍රසන්න කාර්යාල පරිසරයක්
- සේවාලාභී සිත තුටු කරවන විශ්වසනීය කාර්යක්ෂම සේවයක්
- නව්‍යකරණය තුළින් සැනෙකින් විසඳුම් සොයා යන කාර්ය සංස්කෘතියකින් යුතු පෙරයු කාර්යාලයක්
- අනාගත පරපුරේ අපේක්ෂාවන් සපුරාගන්නා යහපත් පැවැත්මෙන් යුතු පිවිතුරු හරිත පරිසරයක්
- කොට්ඨාශයේ තොරතුරු සොයන්නන්හට තොරතුරු කේන්ද්‍රස්ථානයක්
- ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය -
වර්ෂ 1971 ට පෙර බෙලිගල් කෝරළයේ නැගෙනහිර හා බටහිර යන කොට්ඨාශ දෙක එකතුව බෙලිගල් කෝරලේ ප්‍රාදේශීය ආදායම් නිලධාරි කාර්යාලය වශයෙන් එක් කාර්යාලයක්ව පැවතී ඇත. 1971/06/01 න් පසුව එම කාර්යාලය නැගෙනහිර හා බටහිර ලෙස වෙන කර බෙලිගල් කෝරළයේ බටහිර වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලෙස ද නැගෙනහිර ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස ද ස්ථාපිත කර තිබුණි. එවකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වසම් සංඛ්‍යාව 20 ක් පමණ වේ.
1978 අග භාගයේ දී පමණ ප්‍රාදේශීය ආදායම් නිලධාරි කාර්යාල / උප දිසාපති කාර්යාලය ලෙස නම් කර ඇති අතර 1992 සිට එම කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලෙස නම් කර ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ප්‍රාදේශීය ලේකම් ය. ක්‍රම ක්‍රමයෙන් ග්‍රාම නිලධාරි කොට්ඨාශ වැඩි වෙමින් අද වන විට අති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව වසම් 51 කි.
අද භාවිතා වන ග්‍රාම නිලධාරී කොට්ඨාශ එවකට ගම්මුලාදෑනි කොට්ඨාශයක් ලෙස භාවිතා වී ඇති අතර එම ගම්මුලාදෑනි, ආරච්චිල යන තනතුරු නාමය ග්‍රාම සේවක, ග්‍රාම සේවා නිලධාරී ලෙස වෙනස් වී ඇත. වර්තමානය වන විට එය ග්‍රාම නිලධාරී ලෙස වෙනස් වී ඇත.
ප්‍රාදේශීය ආදායම් නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය උප දිසාපති කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පැවති ස්ථාන පිළිවෙළින් පහත සඳහන් වේ.
- නෙළුන්දෙණිය (බෙලිගල්කෝරළේ/ බටහිර/නැගෙනහිර)
- ගලිගමුව ප්‍රාථමික විද්‍යාලය අසළ
- කොබ්බෑවල හන්දිය, බල්ලපාන
- මෙෆීල්ඩ්වත්ත, බල්ලපාන
- ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පිහිටීම මුල් කරගත් තොරතුරු -
මෙම කොට්ඨාශය ගම්දොළහ, කඳුපිට උතුර හා කඳුපිට දකුණ වශයෙන් පත්තු 03 කින් සමන්විත වේ. ලංකාවේ තෙත් කලාපයට අයත් මෙම කොට්ඨාශයෙහි වර්ෂයකට අඟල් 105 ක පමණ වර්ෂාපතනයක් හා මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 22- 26 ත් අතර වේ. මෙම කොට්ඨාශය සබරගමුව පළාත් සභාවට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 න් එකකි. උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයට මායිම් වන මා ඔයෙන් ද නැගෙනහිරින් රඹුක්කන හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශද බටහිරින් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම හා දකුණින් බුලත්කොහුපිටිය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශද මායිම් වන ග්‍රාම නිලධාරි කොට්ඨාශ 51 කින් යුතු හෙක්ටයාර් 12718 ක භූමි ප්රමාණයකි.
භූවිෂමතාව ප්‍රධාන වශයෙන් බටහිර බෑවුම් දක්නට ලැබෙන අතර මධ්‍යම ප්‍රදේශය උතුරට බෑවුම් වන අතර දකුණු දෙසට බෑවුම් ප්‍රදේශයක් ද වශයෙන් මනා ජලවහන රටාවක් පෙන්නුම් කරන ප්‍රධාන බෑවුම් දෙකක් දැක්විය හැකිය. මුහුදු මට්ටමේ සිට අඩි 1200 ක් ඉහළින් පිහිටා ඇති හපුදෙනිය වසම ප්‍රදේශයේ උසම ස්ථානය වේ. මුහුදු මට්ටටම් සිට අඩි 90 ක් උසින් පිහිටි හැළමඩ ප්‍රදේශය වසමේ පහළම ස්ථානය වේ.
මා ඔයේ අතු ගංගාවක් වන කෑගලු ඔය ආශ්රිත ජල වහන පද්ධතිය උතුරට ගලා බසී. කැළණි ගඟේ අතු ගංගාවක් වන ගුරුගොඩ ඔය හා එහි ශාඛා දකුණට ගලා බසී. මෙම ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථිකය වන කෘෂි කර්මාන්තය සඳහා මෙම ජල වහන පද්ධතිය පදනම් කරගෙන ඇත.
ඒ ඒ පාලන සමයන්ට අනූව ගලිගමුව කොට්ඨාශ පාලනය කළ නායකත්වයන් පහත පරිදි වේ.
| නම | තනතුර | සිට | දක්වා | |
| 1. | ටී.ඩී. වීරසේකර මයා | ප්‍රාදේශීය ආදායම් නිලධාරී | 1961 | 1965 |
| 2. | ඩබ්.එම්.පී මැණික්දිවෙල මයා | - එම- | 1966.01.01 | 1966.07.31 |
| 3. | වයි.බී.පුස්සදෙනිය මයා | - එම- | 1966.08.01 | |
| 4. | ආර්.ඒ.ඒ.රණවීර මයා | - එම- | 1971.06.01 | 1977.12.31 |
| 5. | එල්.ගුණවර්ධන මයා | - එම- | 1978.01.01 | 1978.06.30 |
| 6. | මිල්ටන් අමරසිංහ මයා | - එම- | 1979.07.01 | 1983.12.31 |
| 7. | එම්.ජී.කුලරත්න මයා | - එම- | 1984.01.01 | 1984.12.31 |
| 8. | කෙල්වින් ගුණවර්ධන මයා | - එම- | 1985.01.01 | 1986.12.31 |
| 9. | එස්.ඩී.ඒ.ලෝරන්ස් මයා | - එම- | 1987.01.01 | 1988.05.31 |
| 10. | එම්.ගාමිණී සෙනෙවිරත්න මයා | - එම- | 1988.06.01 | 1991.12.31 |
| 11. | කපිල පතිරණ පෙරේරා මයා | - එම- | 1992.01.01 | 1992.08.16 |
| 12. | ටී.ජී.කුලසේන මයා | - එම- | 1992.08.17 | 2000.06.07 |
| 13. | මහින්ද සෙනෙවිරත්න මයා | ප්‍රාදේශීය ලේකම් | 2000.06.08 | 2006.01.31 |
| 14. | ලලිත් දොඹකොටුව මයා | - එම- | 2006.02.01 | 2007.03.08 |
| 15. | ඩබ්.එම්.ඒ.පී.බී.වන්නිනායක මයා | - එම- | 2007.03.15 | 2010.03.22 |
| 16 | කපිල පෙරේරා මයා | - එම- | 2010.03.22 | 2014.04.02 |
| 17 | කේ.ජී.එස්.නිශාන්ත මයා | - එම- | 2014.04.03 | 2018.09.14 |
| 18 | එච්.ඒ.සී.සුසන්ත හේරත් මයා | - එම- | 2018.09.17 | මේ දක්වා |














